ලෙබනනයේ බේරුට් පිපිරීම: තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඉහළට, නගරවාසීහු ආණ්ඩුව වෙත කෝපය පළ කරති

0
42

ලෙබනනයේ බේරුට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදු වූ මහා පිපිරීම සම්බන්ධයෙන් නගරවාසීහු එරට ආණ්ඩුව වෙත කෝපය පළ කරති.

බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය ඊට හේතු වී ඇති බව නගරවාසීහු පවසති.

ජනාධිපති මීෂෙල් අවුන් කියා සිටියේ වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පිපිරීමට හේතු වී ඇති බවය.

නාස්තිය සහ දූෂණය, නොසැලකිලිමත්භාවය සහ නිසි කළමනාකරණයක් නොමැතිකම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු බලධාරීන් වෙත චෝදනා කර තිබේ.

“බේරුට් හඬා වැලපෙනවා. මිනිස්සු හැඟීම්බර වෙලා, මිනිස්සුන්ට ඇති වෙලා,” යනුවෙන් චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ජූඩ් චෙහාබ් බීබීසී වෙත පැවසීය.

“අපට නායකත්වය දෙන්නේ අදක්ෂ මිනිස්සු සහ ආණ්ඩුවක් බව මා සෑම විටම දැන සිටියා. ඒත් මම එක දෙයක් කියන්නම්, ඔවුන් මේ කර තිබෙන දේ ඇත්තටම අපරාධයක්,” යනුවෙන් මේ වන විට රෝහල් ගතව සිටින බේරුට්වාසියෙකු වන චදියා එල්මෙඋචි සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය

A person cries after witnessing the explosion in Beirut, 4 August 2020,

ඡායාරූප ශීර්ෂ වැකිය,කම්පනයට පත් පිපිරීම ඇසින් දුටුවෙක්

පිපිරීම හේතුවෙන් අවම වශයෙන් 137 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 5,000 කට ආසන්නය. තවත් ගණනාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැත. මේ වන විට එහි සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික තානාපතිනිය පවසයි.

“දැනට දැන ගැනීමට ඇති පරිදි මොවුන්ගේ තත්ත්වය බරපතල නෑ,” යනුවෙන් තානාපතිනි ශානි කරුණාරත්න බීබීසී සිංහල සේවය වෙත කියා සිටියාය.

තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පිපිරීම හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මීට ඉහතදී වාර්තා විය.

මේ අතර පිපිරීම නිසා සිදු වූ ජීවිත හානි, ඉන් තුවාල ලැබූවන් සහ සිදු වූ දේපල හානිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙබනන් ජනාධිපතිවරයා වෙත ශෝක පණිවුඩයක් යවා තිබේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here