අනුන්ගේ ගෙදරක ඉද්දි මේ දේවල් වුණොත් වහාම පිටවෙන එක නුවණට හුරුයි

0
54

මේ කියන්න යන්නේ අපි වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන කාරණාවක් ගැන. සමහර විට මේ ලිපිය කියෙවුවට පස්සේ ඔයාට තේරෙයි මෙච්චර දවසක් තමන් වැඩ කරලා තියෙන්නෙ අන්ධයෙක්, බීරෙක් ගාණටද කියලත්. හරි මාතෘකාව ගැන විස්තර කරනවනම් මෙහෙමයි, දැන් අපි යාළුවන්ගෙ, නෑදෑයන්ගෙ, හිතවතුන්​ගේ ගෙවල්වලට නොයෙකුත් හේතු නිසා යනවනෙ. මෙ​හෙම ගිහින් ඉන්න සමහර වෙලාවට අපිත් නොදැනිම කාලය ගතවෙලා යනවා. ගෙදර උදවියට අපිව ඇනයක් වේගෙනත් එන අවස්ථා තියනවා. එහෙම අවස්ථා වල ඒ උදවිය අපිට “පලයං නොකියා පලයං කියන්න” දෙ​න යම් යම් සංඥා තියනවා. අන්න ඒ සංඥා අපි හඳුනගෙන ඉක්මනට එතනින් එන එක තමයි හොඳ ඒ වගේ වෙලාවට.

මොනවද ඒ සංඥා? අපි පොඩ්ඩක් ඒවා ගැන දැනුවත් වෙමු!

 

1. තේකක් එහෙම බොනවද?

ලංකාවේ උදවිය ගෙදරට ආපු කෙනෙක්ව එළවගන්න දාන ප්‍රධානම ටෝක්ස් එකක් තමයි මේ. “තේකක් එහෙම බොනවද?” කියල අහන එක. හැබැයි මෙහෙමයි. ඔයා ගෙදරක ඉන්දැද්දි ගෙදර අයිතිකාරයා ඇත්තටම ඔයාට තේකක් දෙන අදහසින් මේක කියන්නත් පුළුවන්. “තේකක් බොමු නේද?”, “මොනවද බොන්නෙ? තේද? ​කෝපිද?”, “ඉන්න මං තේකක් හදන් එන්නම්” වගේ ක්ෂණිකව කියවෙන අවස්ථා ගොඩක් දුරට අවංකව තේකක්, කෝපි එකක් පොවන්​න හදන අවස්ථා තමයි. හැබැයි සුජීව ප්‍රසන්නආරච්චි ටයිප් එක​ට “තේකක්… එහෙම… බොනවද…?” වගේ ඇදල පැදල, විරාමයන් තියල, ප්‍රශ්නාර්ථයක් එක්ක අහන්නේ ගොඩක් වෙලාවට “තෝ දැන්මම යනවද…? නැද්ද?” වගේ දෙයක් කියන්න තමයි. ඒ වෙලාවට අදා​ළ පුද්ගලයගෙ බොඩි ලැංග්වේජ් එක බලලා ඔබ තීරණය කරන්න ඕනෙ මේ කියන්නෙ යන්න කියලද කියන එක.

 

2. අම්මෝ පහටත් ළඟයි!

මේ අනිත් ක්‍රමේ. මේක ගොඩක් වෙලාවට ඔහේ කදේ දාගෙන දිගින් දිගටම ඇන වෙවී ඉන්න පුද්ගලයෙක්ව එළවගන්න යොදන උපක්‍රමයක්. මෙතනදී එක්කෝ ගෙදර ඉන්න පුද්ගලයා සැරින් සැරේ අපිට පේන්​න තමන්​ගෙ අත් ඔරලෝසුවෙන් හරි බිත්ති ඔරලෝසුවෙන් හරි වෙලාව බලන එක තමයි මුලින් කරන්නේ. එතනදී අපි තේරුම් ගන්න ඕනෙ මේ නොකියා කියන්නෙ වෙන මොකක් හරි වැඩකට පරක්කු වෙන බව තමයි කියලා. හැබැයි අපි ඒක තේරුම් නොගන්න අවස්ථාවලදී තමයි ගෙදර ඉන්න අය “අම්මෝ පහටත් ළඟයි”, “දෙයියනේ හයත් වෙලා නේද?” වගේ හඬ නගා වෙලාව ප්‍රකාශ කරන්න පටන් ගන්නේ. අන්න එහෙම වෙලාවට “අම්මටසිරි, ඔව්නේ… වෙලාව ගියා දැනුනෙත් නෑ. එහෙනම් මාත් ගිහිල්ල එන්නම්” කියලා පිටවෙලා එන එක තමයි වඩාත් සුදුසු.

 

3. පහේ බස් එකේ හෝන් එකද ඒ ඇහුණෙ?

ගෙදරට ආපු මනුස්සයාගේ ගමනාගමන පහසුකම් ගැන අහන එක කියන්නෙත් ගොඩක් අවස්ථාවලදී පලයං කියලා දෙන ඉඟියක්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න කතා කර කර ඉන්න අවස්ථාවක එක පාරටම ගෙදර අයිතිකාරයා අහනවා “දැන් කොහොමද යන්නෙ? ඌබර් එකක් දාගන්නවද? නැත්නම් පාරෙ ත්‍රීවීල් එකකට අත දානවද?” වගේ ප්‍රශ්න. එහෙමත් නැත්නම් බස්, දුම්රිය කාලසටහන් කියවන්න පටන් ගන්නවා. “පහටත් ළඟයි, හයටද කෝච්චිය?”, “පහේ බස් එක වෙන්නැති ඒ හෝන් කරගෙන ගියේ” වගේ දේවල් කියනවා. අන්න එහෙම වෙලාවටත් ගෙදර මනුස්සයා මේක කිවුවේ නිකමටද? නැත්නම් දැන් යන්න කාලෙ හරිද කියන එක වහාම තීරණය කරන එක දිගු කාලීන හොඳ හිතට වැදගත් වෙන කාරණයක්.

 

4. ඈනුම

ඔන්න දැන් අපි ගෙදරකට ගොඩ වැදිලා ගෙදර ඉන්න පුද්ගලයෙක් එක්ක කතා කර කර ඉන්නවා කියල හිතන්න. ඔය අතරේ මේ මනුස්සයා එක දිගට ඈනුම් අරිනවා, නිදි කිරා වැටෙනවා. “හරිම මහන්සියි, අදනම් ඇඟ තලාදාලා වගේ” කතා කියනවා. මෙහෙම වෙන්නේ ඇත්තටම එක්කෝ ඒ මනුස්සයට එහෙම තත්ත්වයක් දැනෙන නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් “කම්මැලියි යකෝ! කාලෙ කන්නෙ නැතිව පලයං” කියලා කියන්න වෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකෙන් මොන අවස්ථාව වුණත් අපි එහෙම වෙලාවක තවත් ඒ අයට වධයක් වෙවී රැඳිල ඉන්න එක හරි නෑ නේද? අන්න එහෙම වෙලාවකටත් “ඔයා එහෙනම් පොඩි නින්දක් දාල රෙස්ට් එකක් ගන්න” කියලා මාරු වෙලා එන එක තමයි වඩා හොඳ.

 

5. දෙකට යන්නත් තියනවා

මේකත් ගොඩක් උදවිය හිත නොරිදෙන විදිහට අමුත්තෝ පිටත් කරන්න දාන උප්පරවැට්ටියක්. ඒ තමයි ගෙදරට ආවාට පස්සේ ඒ අයට ගෙදර රැඳිල ඉන්න පුළුවන් ටයිම් ලිමිට් එකක් ගැන ෂේප් එකේ අඟවන එක. කතා බහ අතරින් “දෙකට සමිති රැස්වීමට යන්නත් තියනවා”, “තුන වෙන්න කලින් අර ෆෝම් එක දීල එන්නත් ඕනෙ” වගේ මොකක් හරි ගෙදරින් පිට වෙන්න තියන වැඩ රාජකාරියක් ගැන මතක් කරනවා. මේවා ඇත්තම රාජකාරි වෙන්නත් පුළුවන්. එහෙම නොවුනත් අර කියන වෙලාව පනිනකම් ගෙදර රැඳිලා නොඉන්න අපි හිතට ගන්න ඕනෙ.

 

6. හුම්!

ගෙදරකට ගොඩ වැදිලා තේකක් බීලා, කතා බතා කරගෙන යනවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් කතා බහත් රසවත්ව නැගලා යනවා. හැබැයි වෙලාවක් ගත වුණාට පස්සේ ගෙදර උන්දෑ එන්න එන්නම කතාව අඩු කරනවා. අපිත් එක්ක හරි හරියට කතා කරමින් හිටපු කෙනාගේ කතා වේගය අඩු වෙන්න පටන් ගන්නවා. “මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ” කියල අපි අහපුවාම “අපොයි හරි වැස්ස වෙලත් උතුරන්ට” කියල පිළිතුරු දීපු හාදයා ටික වෙලාවක් යද්දි අපි අහන දේවල්වලට උත්තර දෙන්නෙත් තනි වචනෙන්. “ඔව්”, “නෑ”, “හ්ම්” වගේ ඒවායින්. ඔන්න එක්කෝ ඊට පස්සේ බර කල්පනාවක ඉන්නවා නිශ්ශබ්දව, එහෙම නැත්නම් ෆෝන් එක දිහාම බලං බුම්මන් ඉන්නවා. අන්න එහෙම වෙලාවකත් මේ පිළිසඳරට තිත තියන එක තමයි වඩාත් හොඳ.

 

7. දුප් බල්ලා!

මේකත් වෙන්න බැරි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට එපාම කරපු හාදයෙක් ගෙදරට ගොඩ වුණාම තමයි මේ විදිහේ උපක්‍රම භාවිතා වෙන්නේ. අනේ ඉතිං ගෙදර ඉන්න හයක් හතරක් නොදන්න බලු පැටියා, බළල් පැටියා හරි ගෙදර පොඩි එකා තමයි මේ වගේ වෙලාවට අහක යන බැනුම් අහන්නේ. ඔන්න ඉතින් එක පාරට ගෙදර මනුස්සයා බල්ලට බනින්න ගන්නවා. “දුප් බල්ලා යන්න මෙතනින්”, “රට වටේ ගිහින් හොරි හදන් ඇවිත්”, “උඹව මං අද හමගහන්න කලිං පලයං!” වගේ එව්වා කියනවා. එහෙම නැත්නම් නිකරුණේ දිගින් දිගටම ගෙදර ළමයෙක්ට හරි බනිනවා, රණ්ඩුවක් දාගන්නවා. අන්න එහෙම ප්‍රකෝපකාරීව හැසිරෙන වෙලාවකත් තත්ත්වේ බලලා ෂේප් එකේ මාරු වෙන එක නුවණට හුරුයි!

 

දැන් මේ ආටිකල් එකේ දෙපැත්තක් තියනවා. එකක් තමයි අපි කෙනෙක්ගේ ගෙදරක ඉද්දී අපිට යන්නය කියලා ඒ අය දෙන ඉඟි තේරුම් ගන්න එක. අනිත් කාරණේ තමයි අපේ ගෙදරටත් කවුරුහරි ඇවිත් වාතයක් වෙවී ඉන්නවනම් ඒ අයව පිට කරගන්නත් මේ ට්‍රික් එකක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන එක.

All Credits goest to :- Lifie 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here