දිනක්ෂිගෙයි සාරංගගෙයි විවාහය ගැන දිනේෂ් ප්‍රියසාද් කඳුළු හංගා කී සංවේදී කතාව

0
432
Dinakshi & Saranga Wedding News
Dinakshi & Saranga Wedding News

පසුගිය සතියේ නැදෑ හිතමිතුරන් පිරිවරාගෙන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර, දිනක්ෂිත් එක්ක විවාහ දිවියට එළඹුණා. ඉතිං මේ විවාහය ගැන දිනක්ෂිගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මෙහෙමයි….

ඔබේ ලොකු දෝණි දිනක්ෂි දීග ගියා. තාත්තා කෙනෙක් ලෙස දැනෙන හැඟීම වචන කරමු?

ලෝකයේ හැම තාත්තා කෙනකුටම  අම්මා කෙනකුටම දැනෙන හැඟීම මටයි බිරියටයි ඒ විදිහටම දැනුණා. සංවේදී සතුටක් දැනෙන්නේ. කරුණාරත්න අබේසේකර මහත්මයා ලියපු වචන පෙළක් මට මතක් වෙනවා. “ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා”. සතුටත් එක්ක ඇස්වල පුංචි කඳුළකුත් ඉතිරිවෙලා තියෙනවා. මොකද දිනක්ෂි රූගත කිරීම්වලට කොහේ ගියත් ගෙදර එනකල් අපි ඉන්නේ. දැන් ඇය ජීවිතයේ තීන්දුවක් අරගෙන මනාලයාගේ ගෙදරට යනවා. ඉතින් කඳුළකින් ඇස් පිරිලා තියෙන්නේ. ඉන්දියාවේ සිවාජි ගනේෂන්ගේ පුතා, අමිතාබ්ගේ පුතා විවාහ වුණාම හැමෝම ඒ ගෙදරම ඉන්නේ. මොකද ඔවුන්ගේ ගෙවල් මාලිගා වගේ. ඉතිං අපේ දරුවන්ට විවාහ වුණාම මනාලයාගේ ගෙදරට යන්න වෙනවා. හැබැයි ඔවුන්ට අවසර තියෙනවා අපේ ගෙදරට ඕනම වෙලාවක එන්න. මම තාත්තා කෙනෙක් ලෙස සන්තෝෂ වුණත් අර කිව්ව පුංචි කඳුළ ඉතිරි වෙලා තියෙනවා.

දිනක්ෂි ඔබට වඩාත් කිට්ටු දියණියක්ද?

දරුවෝ තුන්දෙනා එක්කම එක හා සමාන බැඳීමක් තියෙන්නේ. දිනක්ෂි බොහොම සංවේදී චරිතයක්. පොඩි දේකදී වුණත් හිත උණුවෙන, යහපත් ගතිගුණ තියෙන දරුවෙක්. අනෙක් දරුවොත් එහෙමයි.

දිනක්ෂි තෝරාගත්තේ සාරංගව. ඇයගේ තෝරාගැනීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

දිනක්ෂි කළේ නිවැරදි තෝරා ගැනීමක්

දිනක්ෂි මොන වගේ කෙනෙක් තෝරාගන්න ඕනේද කියන තීරණයට ඔබ මැදිවුණාද?

මම ඒ තීරණයට කවදාවත් බලකිරීම් කරලා නැහැ. මගේ දරුවෝ තුන්දෙනාම හොඳට ඉගෙන ගත්ත දරුවෝ. දිනක්ෂි තෝරාගත්ත සාරංග, කලාකාරයෙක් නිසා මම ගොඩක් කැමැති වුණා. යහපත් ගතිගුණ සාරංගට තියෙන්නේ. ඔහුව කලක් ඇසුරු කරද්දී මට තේරුණේ. දිනක්ෂි එක්ක හොඳට පෑහිලා ඉන්න පුළුවන් සාරංගට. මාත් එක්කත් විහිළු තහළු කරගෙන ඉන්නවා. සාරංගගේ අම්මත් කලාකාරිනියක්. ඇයත් අපිත් එක්ක එකතුයි.

දුවෙක්ට හොඳ සැමියෙක් ලැබෙන්න කියන දේ ඕනම තාත්තා කෙනෙක්ගේ ප්‍රාර්ථනයක්. ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වුණා කියලා හිතනවාද?

බොහොම ඉහළ මට්ටමින් ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වුණා. සාරංග යහපත් ගතිගුණවලින් හෙබි පුද්ගලයෙක්. රඟපෑම අතින් ඔහු ගාමිණී ෆොන්සේකාට සමානයි. ගතිගුණ අතින් විජය කුමාරණතුංගට සමානයි. ඒ නිසා මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. කලාකරුවෙක් සංවේදීයි. ඒ සංවේදීකම උඩ තමයි යහපත්කම එළියට එන්නේ. සාරංග ඒ යහපත් ගතිගුණ තියෙන දරුවෙක්. ශේෂාද්‍රිට ලැබිලා ඉන්න ක්‍රිෂානුත් යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ යහපත් ගතිගුණ කලාකාරයෙක් නිසා පිහිටනවා. මගේ දරුවන්ට ඒ වගේ යහපත් ගතිගුණ තියෙන සහකරුවෝ මම ප්‍රාර්ථනා කළේ.

දිනක්ෂි සාරංගව තෝරා ගත්ත තීරණය ඔබටද බිරියටද මුලින්ම කිව්වේ?

සාරංගට අපිව මුණගැහෙන්න ඕනේ කිව්වා. දිනක්ෂි ගැන අදහසක් තියෙනවා කිව්වම මම එක පයින් කැමැති වුණා. මොකද ඔහු කලාකාරයෙක්. අපි කැමැති වුණාට වැඩක් නෑ දිනක්ෂි කැමැතිද ඇහුවම තමයි දැනගත්තේ දෙන්නා කතාබහ කරගෙන අපිව හම්බෙන්න ඇවිත් තියෙන්නේ කියලා. ඊට පස්සේ සාරංග ඔහුගේ මව තිලකා එක්ක සිරිත් විදිහට මේ යෝජනාව අරගෙන ආවා.

විවාහ උත්සවය වැඩි සද්ද බද්ද නැතුවම සිද්ධ වුණේ කොවිඩ් ප්‍රශ්නයත් නිසාද?

කසාද බඳිනවා කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. එය ලෝක ප්‍රසිද්ධ කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මේ බැන්දේ ඩයනා කුමරියවත්, ජනාධිපතිවත් නෙමෙයිනේ. කලාකරුවෝ, කලාකාරිනියෝ දෙපිරිසකගේ කලාවේ ඉන්න දුවක් සහ පුතෙක් විවාහ වුණේ. කසාද බඳින එක අඬබෙර ගහලා කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා තමන්ගේ විවාහයට වියදම් කළේ රුපියල් 28යි. මම ඒක ආදර්ශයට ගන්න කෙනෙක්. මමත් බොරු ශෝභනවලට කැමැති නැහැ. නමුත් දිනක්ෂි, සාරංගට නිතර දෙවේලේ මුණගැහෙන එයාලා ළඟින්ම ඇසුරු කරන, ඔවුන්ට උදවු උපකාර කළ ළඟම පිරිසකට විවාහ උත්සවය කිව්වා. මම ක්ෂේත්‍රයේ හඳුනන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් දිනක්ෂිට හැමදාම ක්ෂේත්‍රයේදී රැකවරණය දුන්නා. ඉතින් ඒ රැකවරණය දුන් පිරිසකට විවාහය නොකියා බෑ. කොවිඩ් 19 ප්‍රශ්නය නිසා සීමිත පිරිසකට මංගල්‍ය කිව්වේ. මගේ පැත්තෙන් යාළුවෝ කියලා ආරාධනා කළේ රාජ් රණසිංහට විතරයි. ඔහු තමයි මා සිනමාවට ගෙනා නිෂ්පාදකවරයා. ආරාධනා කරන්නම අවශ්‍ය නිසා පවුලකින් එක්කෙනකුට තමයි කිව්වේ. සාරංගගේ පැත්තෙනුත් සීමිත පිරිසකට කියලා මංගල උත්සවය ගත්තා.

දිනක්ෂිගේ විවාහය දවසේ ඔබේ හීන දෙකකුත් හැබෑ කරගත්තා නේද?

මගේ දරුවෙක් විවාහ වෙද්දී කරනවා කියලා හිතේ තිබුණ ආසාවල් දෙකක් එදා ඉෂ්ට කරගත්තා. රාජ් රණසිංහගේ සාප්පුවකින් ගත්ත පෑනකින් තමයි මමයි මගේ බිරියයි විවාහයේදී අස්සන් කළේ. අවුරුදු තිස් ගාණකට පස්සේ ඒ පෑනෙන්ම තමයි සාරංගයි දිනක්ෂියි විවාහයට අස්සන් කළේ. මම ඒ පෑන තියාගෙන හිටියේ කවදා හරි මගේ දරුවකුගේ විවාහය දවසේ පාවිච්චි කරන්න. ඒ වගේම මගේ පළමු චිත්‍රපටය වුණ පෙරළිකාරයෝ චිත්‍රපටයේ කරුණාරත්න අබේසේකර ලියූ ගීතයක් තිබ්බා ‘ජය මංගලම් සුබ මංගලම්’ කියලා. මගේ දරුවෙක් කසාද බඳින දවසක ඒ ගීතය මට ගයන්න ආසාවක් තිබ්බා. මම දිනක්ෂිගේ මංගල උත්සවය දවසේ එය ඉෂ්ට කළා.

දිනක්ෂි සාරංගගේ නිවෙසට යන දවසෙත් පුංචි සාදයක් තියෙනවා නේද?

ඔව්. නෑදෑයෝ විතරක් සහභාගි කරගෙන  පුංචි සාදයක් 10 වැනිදා තියෙනවා. දිනක්ෂිව කැන්දාගෙන යෑම වෙන්නේ 10 වැනිදා.

ගෙදරම නළු නිළියෝ ඉන්න ඔබට ඔවුන්ව දාලා චිත්‍රපටයක් කරන්නන් බැරි නෑ නේද?

මම චිත්‍රපටයක නළු නිළියෝ තෝරාගන්නේ චරිතයට සුදුසු නම් විතරයි. නෑදෑකම්වලට මම චිත්‍රපට හදන්නේවත්, චරිත දෙන්නේවත් නෑ. එහෙම හදනවා නම් ගාමිණී ෆොන්සේකාට තිබුණා දමිත්ව දාලා දිගටම චිත්‍රපට කරන්න. ගෙදර නළු නිළියෝ හිටියට මම චිත්‍රපට හදන්නේ නෑ. ඔවුන්ව ගන්නේ ඒ චරිතවලට සුදුසු නම් විතරයි.

News Source :- Hiru Gossip 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0