හැමෝම කතා කරපු සාරංග – දිනක්ෂිගේ ආදර කතාව, දිනක්ෂි මුල්වරට හෙළි කරයි

0
170
Dinakshi and Saranga Wedding

මෑත කාලයේ කලා ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන, ජනප්‍රිය තරු දෙපළක් වන දිනක්ෂි හා සාරංග පසුගියදා ජීවිතේ විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ප්‍රේක්ෂකයෝ ඇඟිලි ගැන්න ඔවුන් දෙපළගේ විවාහය. ඉතින් චාම් සුන්දර මනාලියක් ලෙස කුලගෙට ගිය ඇයගේ සුවිශේෂී දිනය වගේ ඇගේ ජීවිතේට එකතු වුණු ආදර කතාව ඇය අපිත් සමඟ බෙදා හදා ගත්තේ මේ විදිහටයි……

බොහෝම සරලව සැහැල්ලුවෙන් ඉඳපු දිනක්ෂි විවාහ ජීවිතේ වගකීම මෙතරම් ඉක්මනට ගන්න හිතුවේ ඇයි?

සාරංගත් මමත් දැන හැඳිනගෙන අවුරුදු දහයක් විතර වෙනවා. ඒ සහෝදර බැඳීම ආදර හැඟීමක් බවට පත්වෙලා වසර දෙකක් වෙනවා. මේ දේවල් ලොකු අනාගත බලාපොරොත්තු එක්ක පටන් ගත්ත දේවල් නෙමෙයි. මම කොහොමත් එන විදිහට ජීවිතේ භාර ගන්න කෙනෙක්. දැන් විවාහයට සුදුසු නියම කාලය කියලා හිතුවා. ගෑණු ළමයෙක් විදිහට ඒ වගකීම කවදා හිටියත් බාර ගන්න ඕනනේ. ඉක්මන් වුණා කියලා හිතන්නේ නෑ. මේ තමයි හොඳම කාලය කියලා හිතුවා.

කොහොමද අලුත් ජීවිතේ..?

අනේ ඉතින් එහෙම වෙනසක් නැහැ. අපි බැන්ඳා කියලා. වෙනදා වගේම හිනාවෙලා, විහිළුවක් කරගෙන, සතුටින් හොඳින් ඉන්නවා. අපි දුක සැප බෙදාගන්න තීරණය කරද්දි ඒක රෝසමල් යහනාවක් වෙන්නේ නැහැ. විවාහය කියන්නේ තේරුම් ගැනීමක්. ඒ තේරුම් ගැනීම අපි දෙන්නා තුළම තිබෙනවා.

සාරංග ඔබේ ජීවන සහකරුවා වෙන්න තරම් ඔබ ඔහුගේ දුටු විශේෂත්වයක් තිබුණද?

යාළුවෙක්. සහෝදරයෙක්, පෙම්වතෙක් විදිහට ඇසුරු කරද්දි ඔහුගේ සුවිශේෂී ගතිගුණ ගොඩක් දේවල් මම දැක්කා. හොඳ මනුස්සයෙක් නම්… මට ආදරේ නම්… මගේ අදහස්වලට ගැළපෙනවා නම් මම හෙව්වේ එච්චරයි…. ඒ හැම දෙයක්ම සාරංග තුළ තිබුණා.

දිනක්ෂි – සාරංග විවාහය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණ විවාහයක් වුණා?

විශාල ප්‍රමාණයකගෙන් අපි දෙන්නට සුබ පැතුම් ආවා. එදා වගේම අදටත් අපි එක්ක ඉඳපු ඒ අයට ස්තුති කරනවා. ඉදිරියටත් අපේ නිර්මාණ හරහා ඒ ප්‍රේක්ෂක ආදරය දිගටම තියේවී කියලා හිතනවා.

ඒ සුන්දර දවස ගැනත් වචනයක් කියමු?

ඇත්තටම මගේ ජීවිතේ ලස්සනම දවස් දෙක සුන්දර මනාලියක් ලෙස මාව හැඩගන්වපු නුවන් විජේතුංග, සුභාෂ් අබේවික්‍රම අයියා විශේෂයෙන් ස්තුතිය පුද කරනවා. මාව හරිම ලස්සනට ඒ දවස් දෙක හැඩ ගැන්වුවාට. මම කොහොමත් සරලව අඳින පළඳින කෙනෙක්. ඒ නිසා මංගල දිනයෙත් ඒ විදිහටම චාම්ව හැඩ වෙන්න මට ඕනි වුණා. පළමු දිනයේ විවාහ උත්සවය පැවැත්වුනේ වොටර්ස්ඒජ් හෝටලයේ. දෙවැනි දිනයේ උත්සවය අපි ගත්තේ සාරංගලාගේ නිවසේමයි. අපි දෙන්නා හිතපු විදිහටම බොහෝම සරලව චාම්ව අපිට විවාහ උත්සවය ගන්න උදව් කරපු අපේ ළඟින්ම හිටපු සියලුම දෙනාට මම ස්තුති කරන්න කැමතියි..

දිනක්ෂිගේ මොනවද මේ දවස්වල අලුත් කලා කටයුතු?

හිරු නාලිකාවේ විකාශය වන ‘අකුරු මැකී නෑ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. විවාහයත් එක්ක පුංචි නිවාඩුවක් ගත කරපු නිසා දැන් කලා කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

නදීශා අතුකෝරල විසින් “ඉරිදා ලංකාදීප” පුවත්පතේ “සඳැල්ල” අතිරේකයට ලියූ ලිපියකි.

News Source :- Hiru Gossip

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0